කුල ධුරාවලිය
i. ගොවිගම කුලය
සිංහල
කුල ධුරාවලියේ ඉහළින්ම සිටින ගොවිගම කුලය සමස්ථ සිංහල ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප්‍රතිශතයක්
නියෝජනය කරයි.ගොවි කුලයට කුල ධුරාවලිය තුළ හිමි වු ප්‍රමුඛ තැන නිසා එම කුලය ඇතැම්
විටක කොතරම් බලවත් වුයේද යත් රාජ්‍යත්වය ඉසිලු ක්ෂත්‍රියන්ට පවා ඔවුන්
තර්ජනයක් වූ බව නිශ්ශංකමල්ල රජු ක්ෂත්‍රියන්ම රජකමට තෝරාගත යුතු බවත් ගොවි කුලයේ අය
රාජ්‍ය ලීලාව නොපැවතිය යුතු අය යැයි ලේඛනගත කොට ඇති බව එම්.බී. ආරියපාල සඳහන් කොට
ඇත. ගොවි කුලයේ ව්‍යාප්තිය පිළිබඳව සැලකීමේදි වෙරළබඩ කලාපයේ කරාව,සලාගම
සහ දුරාව කුල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශත්,රට
අභ්‍යන්තරයේ ඇතැම් කුල බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශත් (උදා- සබරගමු පළාතේ
වහම්පුර කුලය බහුල වශයෙන් ව්‍යාප්ථ වී ඇති ප්‍රදේශ) හැරුණු විට සිංහල ජනතාව ජිවත්වන
අනෙකුත් සෑම ප්‍රදේශයකම ප්‍රමාණාත්මක වශයෙන් විශාලතම කුලය ගොවිගම
කුලය බව හඳුනා ගත හැක.
වචනාර්ථයෙන්
කියවෙන පරිදි ගොවිගම කුලය යනු වගා කරන්නන් හෙවත් කෘෂිකාර්මිකයන්ය.සිංහල සමාජය තුළ
කෘෂිකාර්මාන්තය යනු උසස්ම පිළිගැනීමක් සහිත වු වෘත්තියකි.බ්‍රයිස් රායන්ට අනුව මේ
කුලයට සමාජය තුළ උසස්ම තත්වය ආරෝපණය වුයේ පහත් යැයි සම්මත සේවයෙන් හෝ ක්‍රියාකාරකම්
ඔවුන් වෙත ආරෝපණය වී නොතිබීම නිසාය.කෙසේ වෙතත් ගොවි කුලයට අයත් සැම දෙනෙක්ම කෘෂිකාර්මිකයන්
වුයේ නැත.ගොවි කුලයට අයත් එහෙත් වෙනත් කාර්යය කටයුතු සහ සේවාවන් වල නිරත වු අය ද
සාම්ප්‍රදායික සිංහල සමාජය තුළ සිටියහ.මේ කුලයේ උප කොටස් පිළිබඳව අවධානය යොමු
කිරිමෙන් මේ බව හොඳින් පැහැදිලි වනු ඇත.ඉහතින් ඇති කේ.ටී. සිල්වාගේ කුල සංයුතිය
පිළිබඳ ආකෘතියේ ගොවි කුලයේ දැනට විද්‍යමාන උප කොටස් 03ක් ඇත.බ්‍රයිස් රායන් ද 1953
වන විටත් පැවති ගොවි කුලයේ උප කොටස් ගණනාවක් හඳුනා ගෙන ඇත.මේ අනුව රායන් විසින් රදල,මුදලි,පට්ටි,කටුපුල්ලේ,නිලමක්කාර,පොරවකාර,වහල්,ගැත්තර සහ ගුරුවෝ යන කොටස් 09 ගොවි
කුලයේ උප කොටස් දක්නට ලැබුනේ පහතරට ප්‍රදේශ වලට වඩා උඩරට ප්‍රදේශවලය.
ගොවි කුලයේ
උසස්ම කොටස වන රදළයන් ඉඩම් හිමි වැඩවසම් ප්‍රභුන්ය.උඩරට රාජධානියේ පරිපාලන
ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු දැරු මොවුන් වැඩවසම් ක්‍රමය බ්‍රිතාන්යයන් විසින් ආහෝසි
කිරිමෙන් පසුව පවා ප්‍රබල සමාජ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක විය.මුදලි යනු
රදළයන්ට පහළින් සිටි ස්ථරයකි.මොවුන් පාලන තන්ත්‍රයේ පහළ මට්ටමේ තනතුරු
දැරුවන්ය.මුදලිවරු රදළයන්ට වඩා පහළ තනතුරු වල සිටියත් රදළවරු මොවුන් සමග විවාහ
ගණුදෙණු කළ බව බ්‍රයිස් රායන් සඳහන් කරයි.පට්ටිවරු බහුල වශයෙන් මධ්‍යම
පළාතට සීමා වු කොටසකි.ගව පාලනය වෘත්තියක් ලෙස කළ මොවුන් සමග විවාහ ගණුදෙණු සඳහා
රඳලයන් හා මුදලිවරුන් යොමු නොවිණි.කටුපුල්ලේවරුන් උඩරට රාජධානියේ සේවා
සමුහයක් වු අතපත්තු සමුහයට අයත්ය.මාතලේ හා දඹුල්ල වැනි ප්‍රදේශ වල විසිරි සිටි
මොවුන්ගේ සමහරෙකු ද තම අනන්‍යතාවය සගවා ගොවි කුලයේ උසස්ම කොටස් ලෙස පෙනී සිටිමට
උත්සහා ගත්තේ වී නමුදු අසල්වැසි ජනතාවගෙන් ඔවුන්ගේ අනන්‍යතාවය සැගවිය හැකි වුයේ
නැත.නමුත් කටුපුල්ලේවරු පොලිස් හමුදාව වන අතර වැදි ගෝත්‍රයකින් පැවත එන බව ගනනාථ
ඔබේසේකරයන් පවසයි.රදළයන්ගේ නිවාස වල සේවය කළා යැයි කියන වහලුන් යනුවෙන්
හඳුන්වන පිරිස ගොවි කුලයේ ඉතා සුළු පිරිසක් සිටි බව සඳහන් වේ.නුවරඑළිය දිස්ත්‍රික්කයේ
ගමක 1960 ගණන් වලදි ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ නුර් යල්මාන් ඔහුගේ අධ්‍යන ක්ෂේත්‍රයේ
රදළ යැයි කියාගත් පිරිස ඔවුන්ගේ නිවාස වල සේවය කළ ගොවි කුලයේම පිරිස් කුලි කරුවන්
ලෙස හැඳින්වු බව සඳහන් කර ඇත.ඌව-වෙල්ලස්ස ප්‍රදේශයේ ඇතැම් හුදකලා වු ගම්වල 1950
ගණන් වන විට ද ගොවි කුලයේ මේ කොටසට තමන් අයත් යැයි ප්‍රසිද්දියේ කියාගන්නා පිරිස්
සිටි බව රායන් ද පවසයි.පොරවකාරයින් යනු අතිතයේ දී දැව කපන්නන්,විශේෂයෙන් ම රජුගේ ඇත් සමුහයට ආහාර සැපවුවන්ය.ගොවි ගම කුලයේ පහළම
කොටසක් වු නිසා මොවුන් සිය අනන්‍යතාවය ප්‍රකට කිරිමට අකමැති වු බව රායන් සඳහන්
කරයි.සමහර උඩරට වැසියන් විශ්වාස කරන අකාරයට මොවුන් ඇත්ගොව්වන්ය.ගැත්තර යනුවෙන්
සඳහන් වන කණ්ඩායමේ තත්වය වහලුන්ගේ තත්වයට වඩා විරුද්ධාර්ථයක් ගෙන දෙන බව රායන්
සඳහන් කරයි.එය කුල කණ්ඩායමකට වඩා රජවරුන් විසින් සංවිධානාත්මක සමාජයෙන් පිටස්තරව
තැබු උසස් කුල ගම්වැසියන් හැඳින්වීමට යෙදු නාමයක් බව ද කියවේ. ගොවි ගම කුලයේ අනික්
අය මොවුන් සමග සමාජ සම්බන්ධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.සාම්ප්‍රදායික
උත්සව අවස්ථාවල දී දේවාලවල සක් පිඹීමේ නිරත වු කෘෂිකාර්මික ප්‍රජාවක් වු ගුරුවෝ,හක්හෙඩියන් යනුවෙන් හඳුන්වා ඇත.ගැත්තරයන් මෙන්ම ගුරුවෝ ද ගොවි
කුලයේ උසස් කොටසක් ලෙස පෙනී සිටිමට උත්සහා දැරුවත් ඔවුන්ගේ ගම් ආසන්නයේ වු අනෙකුත්
ගම් වල වසන අය මොවුන්ගේ අනන්‍යතාව පිළිබඳ අවබෝධයකින් යුක්ත බව බ්‍රයිස් රායන්
සඳහන් කරයි.
ලංකාවේ
ආදිවාසි ජන කොටසක් ලෙස සලකන වැද්දන් ද ගොවි කුලයේම අතුරු කොටසක් බවට පිළිගැනීමක්
ඇත.නිති නිගණ්ඩුවට අනුව නම් තම සතුරන්ගෙන් බෙරීම සඳහා කැළැ වදින රජවරු හෝ
ඇමතිවරුන්ගෙන් පැවත එන්නන් වැදි වංශයට අයත්ය.වර්තමානය වන විට ආන්තික සමාජ
කණ්ඩායමක් වුව ද, මහනුවර යුගයේ සිංහල සමාජ සංවිධානය
තුළ ඔවුන් උසස් සමාජ තත්වයක් හිමි වු සමාජ කණ්ඩායමක් බව ගනනාථ ඔබේසේකරගේ නිරික්ෂණ වලට අනුව පැහැදිලි වේ.උඩරට රජවරුන්ගේ
විශ්වාසදායකම පිරිසක් වු වැද්දන්ට ගොවි කුලයේ උසස්ම වාසගම් ලබාදුන් සිංහල රජවරුන්
ඔවුන්ව කුල වැද්දු බව සඳහන් කරන ගනනාථ ඔබේසේකරට අනුව වර්තමානයේ ගොවි කුලිකයන් ලෙස
පෙනී සිටින සැලකිය යුතු පිරිසක් වැදි වංශිකයන්ය.
ii. කරාව කුලය
මසුන්
මැරීම හෙවත් ධීවර වෘත්තිය සාම්ප්‍රදායික ජිවන වෘත්තිය ලෙස සලකන කරාව කුලය වෙරළබඩ
තීරයේ විශේෂයෙන්ම බටහිර වෙරළබඩ තීරය ආශ්‍රිතව ස්ථාපිත වී ඇති කුලයකි.සිංහල කුල ක්‍රමය
තුළ කරාව කුලය විශේෂිත කුලයක් වන්නේ හේතු කීපයක් නිසාය.එම කුලයේ ප්‍රභවය
සම්බන්ධයෙන් ඇති පුරානෝක්ති, සිංහල කුල ධුරාවලියේ තමන්ව තබා
ඇති තැන සම්බන්ධයෙන් කරාව කුලයේ ප්‍රතිචාරය මෙන්ම යටත් විජිත යුගයේදි මේ කුලය ආශ්‍රිතව
සිදු වී ඇති සමාජ සංචලතාව ද එවැනි වැදගත් හේතු වලින් කිපයකි.
ඉන්දියානු වර්ණ ආකෘතියේ පාලක
පෙළපතෙහි වු ක්ෂත්‍රියන් හා කරාව කුලයේ ආදිතමයන් අතර ඇති සම්බන්ධය පිළිබඳ ඇති මතය
මේ කුලයේ මූලාරම්භය සම්බන්ධයෙන් සලකා බැලිමේදි විශේෂයෙන් අවධානයට ලක් කළ
යුත්තකි.කරාව කුලයේ ප්‍රකාශයන්ට අනුව කරාව යන යෙදුම සංස්කෘත බසේ කෞරව යන වචනයෙන්
නිෂ්පන්න වන්නකි.මේ අනුව ලංකාවේ කරාව කුලය මහා භාරත වීර කාව්‍යයේ ද සඳහන් “කුරුස්” නම් යුධකාමි ක්ෂත්‍රියන්ගෙන් පැවත
එන්නන්ය.දකුණු ඉන්දියානු “කෞරවාර්”
සහ “කුරුකුලම් වරුන්ද” රාඡ්පුතානාහි
“කෞරව්” සහ බෙංගාලයේ “කුර්ස්” යන ක්ෂත්‍රිය ප්‍රජාවන් ද ලංකාවේ කරාව
කුලය හා සමාන ප්‍රජාවන්ය.කරාව කුලය විසින් පවත්වාගෙන යනු ලබන karava.org
වෙබ් අඩවියට අනුව ලංකාවේ කරාව කුලයේ ඉපැරණි බව විජයාගමනය දක්වා දිව එන්නකි. එම වෙබ්
අඩවියට අනුව මිහිඳු හිමියන් සහ සංඝමිත්තා මෙහෙණිය ද කරාව කුලය හා සම්බන්ධ වන්නේ
මෞර්ය වංශික අශෝක “කෞරවකි”
නැමැති ධීවර කුමරිය විවාහ කරගත් නිසාය.පුරාණ ශ්‍රි ලංකාවේද කරාව කුලය හමුදා
සේවාවන් හා සම්බන්ධ වු ප්‍රජාවක් ලෙස කටයුතු කර ඇති බව කියන ඉහත වෙබ් අඩවියට අනුව
ලංකාවේ කේන්ද්‍රගත රාජධානිය බිඳ වැටීමත් සමග ඇති වු කුඩා කුඩා රාජ්‍යන්හි පාලකයන්
ලෙසද කරාව වංශිකයන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් මයිකල් රොබට්,බ්‍රයිස්
රායන් වැනි අය සඳහන් කරන අකාරයට කරාව කුලයේ ආදිතමයන් වඩාත් මෑත කාලීනව දකුණු
ඉන්දියාවේ ර්‍දවීඩඪියානු ප්‍රදේශ වලින් මෙරටට සංක්‍රමණය වුවන්ය.මයිකල් රොබට් කරාව
කුලයේ නැගීම පිළිබඳව ලියු කෘතියේ දී පෙන්වා දී ඇති අකාරයට මේ අය 13 වැනි සියවසේ
සිට 18 වැනි සියවස දක්වා වු කාලය තුළ මෙරටට සංක්‍රමණය වුවන්ය. කරාව කුලයේ මැත
කාලීන සම්භවය තහවුරු කළ හැකි සාක්ෂි රාශියක් විද්වතුන් විසින් පෙන්වා දී ඇත.මයිකල්
රොබට්ස් තවදුරටත් සඳහන් කරන අකාරයට තංගල්ලේ සිට මීගමුව දක්වා මුහුදු තීරයේ සිටින “සිංහල බස කථාකරන” කරාව ප්‍රජාව ද , මීගමුව සිට
පුත්තලම දක්වා වු මුහුදු තීරයේ සිටින සිංහල සහ දෙමළ භාෂා දෙකම කථා කරන “පරවර” යනුවෙන් හැඳින්වෙන ප්‍රජාව ද ,
නැගෙනහිර මුහුදු තීරයේ වෙසෙන “කරයාර්”
නැමැති ප්‍රජාව ද එකම මූලයකින් ප්‍රභවය වන්නන් වන අතර ඉහතින් සඳහන් කළ පරිදි ඔවුන්
මෙරටට සංක්‍රමණය වී ඇත්තේ 13 වන සියවසේ සිට 18 වන සියවස දක්වා වු කාලය
තුළය.විචාරකයින් පෙන්වා දෙන අකාරයට දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වීමෙන්
අනතුරුව සිංහල ප්‍රදේශ වල පදිංචි වු මෙම නුතන සංක්‍රමණිකයන් පසු කාලයකදී සිංහල බස
කථා කරන සහ සිංහල සංස්කෘතියට අනුගත වු පිරිසක් බවට පත් වුවත් ඔවුන්ගේ ර්‍දවීඪියානු
උරුමයේ ලක්ෂණ තවමත් ඔවුන් සතුව තිබේ.
කෝට්ටේ
යුගයේ අවසාන භාගය වන විට ද කරාව කුලය සාපේක්ෂ වශයෙන් සමාජ ධුරාවලියේ පහළ මට්ටමක වු
බව මයිකල් රොබට්ස් සඳහන් කරයි.මහනුවර යුගය වන විට ද කරාව කුලය මුහුදුබඩ පළාත් වලට
සිමා වු කුලයක් බව තහවුරු වන්නේ රොබට් නොක්ස් 17 වන සියවසේදි සිංහල කුල ධුරාවලිය
පිළිබඳව කරන විස්තරය තුළ කරාව කුලය අඩංගු නොවීමයි.කෙසේවෙතත් ජෝන් ඩේව්ට අනුව 18 වන
සියවසේ දෙවැනි දශකය වන විට කරාව කුලය හීන කුල අතර ප්‍රමුඛ කුලය විය.වෙරළබඩ තීරය
ලන්දේසින්ට යටත් වු විට උඩරට රජවරුන්ට ලුනු සහ කරවල සැපයීම නිසා මහනුවර යුගයේ පසු
කාලය වන විට කරාව කුලයට ප්‍රමුඛ තැනක් හිමි වු අතර මුහුදුකරයෙන් පලා ගොස් උඩරට
පදිංචි වු අය අතිශය වැදගත් “මඩිගේ” හෙවත්
ප්‍රවාහන කාර්යංශයට බඳවා ගනු ලැබිණි.උඩරට ප්‍රදේශ වල ගොවි කුලයට දෙවැනි වු කුලය ලෙස
සැලකුවත් මුහුදුබඩ තම කුලයේ අය බහුලව පදිංචි වී සිටි ප්‍රදේශ වල කරාව කුලය
අධිපතිවාදි කුලයක් ලෙස ක්‍රියා කළ බව පැට්රික් පීබ්ල්ස් සඳහන් කරයි.යටත් විජිත
යුගයේ දී මුහුදුබඩ ප්‍රදේශ වල සිටි කරාව ප්‍රජාව විශාල වශයෙන් කතෝලික ආගම වැළඳ ගත්
අතර එම කාලයේ ඇති වු වාණිජ ධනේශ්වර සමාජ සංචලතාවයේ ප්‍රබල බලපැමට හසු වු කුලයක්
ලෙස කරාව හඳුනාගත හැක.
කරාව
කුලයේ උප කුල ගණනාවක් ඇත. බ්‍රයිස් රායන්ට අනුව මේ උප කුල බෙදිම් වල පදනම ධීවර
කර්මාන්තයේ නිරත වන අකාරයයි. ඒ අනුව මෙහි උප කුල වන්නේ: ඔරු කරාව,මා දැල් කරාව,දඩු කරාව,කැස්ප කරාව,බරදැල් කරාව,පොරව කරාව,ගොඩ
කෙවුලෝ, ටොක් කෙවුලෝ, ඉදිමල් කරාව යන කොටස් ය. මුලින් ද සඳහන් කළ පරිදි යටත් විජිත
යුගයේ මෙරට ඇති වු වාණිජ ධනේශ්වර සමාජ සංචලතාවේ ප්‍රබල බලපැමට හසු වු කුලයක් ලෙස
කරාව කුලය සමාජීය,සංස්කෘතික,අධ්‍යාපනික,ආරථික යනාදි ක්ෂේත්‍ර වල ඉහළටම පැමිණීයේ ප්‍රමුඛ
වතු වගාකරුවන්,ඉහළම පෙලේ ව්‍යාපාරිකයින්,වෘතතිකයන් වශයෙන් සමාජ ධුරාවලියේ ඉහළ
මට්ටමක් අත්පත් කරගත් සැහෙන පිරිසක් බිහි කරමිනි.මේ ඉහළට යැමත් සමග කුල ධුරාවලිය
තුළ තම කුලයේ තත්වය ඉහළ නංවා ගැනිම සඳහා කරාව කුලය විසින් විවිධ මාර්ග ගනු
ලැබිය.
ii සලාගම කුලය
කුරුඳු නිෂ්පාදන සම්ප්‍රදායික වෘත්තිය
ලෙස සලකනු ලබන සලාගම කුලයේ ව්‍යාප්තිය ද බටහිර වෙරළබඩ තීරයට,විශේෂයෙන්ම එම වෙරළ
තීරයේ වඩාත් දකුණින් වු ප්‍රදේශය ආශ්‍රිතව හඳුනා ගත හැකිය.මේ අනුව රම කුලයේ
ජනගහනයෙන් ඉතා වැඩි පිරිසක් ගාල්ල දිස්ත්‍රිරික්කයේ මුහුදුබඩ මැතිවරණ කොට්ඨාස
කීපයක්(රත්ගම,බලපිටිය,අම්බලන්ගොඩ) ආශ්‍රිතව හඳුනාගත හැකිය.බ්‍රයිස් රායන්ට අනුව
මෙම කුලයට අයත් එහෙත් ප්‍රමාණාත්මක වශයෙන් සුළු පිරිසක් මීගමුව ආසන්න ප්‍රදේශවල ද
ඒකරාශි වී සිටිති.කරාව කුලය මෙන්ම සලාගම කුලය ද යටත් විජිත යුගය තුළ ප්‍රබල සමාජ
සංචලතාවකට බඳුන් විය.එහෙත් කරාව කුලය මෙන් නොව මෙම කුලයෙන් අති විශාල බහුතරයක්
බෞද්ධයන් වීම කැපි පෙනෙන ලක්ෂනයකි.
සලාගම කුලයේ ආරම්භය
සම්බන්ධයෙන් එම කුලය දරන මතය වන්නේ ඔවුන්ගේ ආදිතමයන් විටින් විට උතුරු ඉන්දියාවෙන්
ලංකාවට පැමිණි බ්‍රහ්මණ වංශිකයන් වු බවයි.ජනවංශය ද සලාගම කුලයේ පුරෝගාමින් බ්‍රහ්මණ
සම්භවයක් සහිත පේෂකාර්මිකයන් බව සඳහන් කරයි.එහෙත් බ්‍රයිස්
රායන්,පෝල්.ඊ.පීරිස්,ආනන්ද කුමාරස්වාමි වැනි ලේඛකයන් ගේ මතයට අනුව සලාගම කුලයේ සමාජිකයන්
වඩාත් මැත කාලීනව දකුණු ඉන්දියා වෙන් මෙරටට සංක්‍රමණය වුවන්ය.
17වන හා 18වන සියවස් වල දී
සලාගම කුලය හැඳින්වීම සඳහා භාවිතා කල “චාලියා”
යන නමින්ම හැඳින්වෙන දකුණු ඉන්දියානු කුලයේ ද සාම්ප්‍රදායික වෘත්තිය පේෂ කර්මාන්තය
වීම කුමාරස්වාමිගේ මතය තවදුරටත් සනාථ කරයි.18 වන සියවසේ මෙරට සිටි ලන්දේසි
ආණ්ඩුකාරවරයකු වු ජාන් ශේ්‍රන්ඩර් ගේ සටහන් ද සලාගම කුලයේ මෑත කාලින දකුණු
ඉන්දියානු ප්‍රභවය සනාථ කරන බව ද සඳහන් කරන බ්‍රයිස් රායන්ට අනුව සලාගම කුලයේ
ආදිතමයන් දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරයෙන් මෙරටට ගෙන්වා ඇත්තේ ක්‍රි.ව.1250
දීය. එසේ ගෙන්වන ලද ඔවුන් වැදගත් සමාජ කණ්ඩායමක් ලෙස මෙරට සමාජ ක්‍රමයට අනුගත කර තිබිණි.කෙසේ වෙතත් සිංහල රජවරුන්ගේ අප්‍රසාදයට
ලක්ව පහතරටට එවා රජුගේ ඉඩම් වල වැවෙන කුරුඳු නිෂ්පාදනයට මොවුන් යොදවන ලද්දේ ක්‍රි.ව.
1406 දීය.මේ අකාරයට ඔවුන් මෙතෙක් දැරු සමාජ මට්ටමෙන් පහතට දැමීම සමග ඔවුන්ගේ අඳින
පලඳින අකාරය සම්බන්ධයෙන් පවා සීමාකම් ඇති වු බව බ්‍රයිස් රායන් සඳහන් කරයි.වෙරළබඩ
තීරය පෘතුගීසින්ට යටත් වීම සහ පහතරට කුරුඳු නිෂ්පාදනයට ඔවුන් යටතට පත් වීමත් සමග
සලාගම කුලයේ ප්‍රභල වෙනස් වීමක් සිදු විය.කෙසේ වෙතත් පෘතුගීසි යුගයේ දී සලාගම කුලය
එක්තරා අකාරයක තර්ජනයකට ද මුහුණ දුන්නේ පෘතුගීසින් සලාගම කුලයේ මුලාරම්භය පිළිබඳව
ඉදිරිපත් කළ අර්ථකථනයන් නිසාය. “සලාගම වැසියන් ක්‍රි.ව.2
සියවසේ ගජබාහු රජු ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ වහලුන් 24000න් පැවත එන්නන් යැයි ප්‍රකාශ
කළ පෘතුගීසින් ඒ වන විටත් ඔවුන් වහල් බවින් මුදවා නැතැයි ද ඒ අනුව රජය අපේක්ෂා කළ
විට රජයට අවශ්‍ය සේවාවන් සැපයීමට ඔවුන් බැඳි ඇතැයි ද 1636 දී ප්‍රකාශ කළහ. කෙසේ
වෙතත් ප්‍රතිකාලුන්ගේ මේ අලුත් න්‍යායන් ප්‍රතික්ෂේප කළ සලාගම කුලය එම නියෝග වලට
එරෙහිව කැරලි ගැසුහ.හැකි සැම අවස්ථාවකදිම අවි බලය යෙදිමෙන් හා ක්‍රූර ලෙස දඩුවම්
කිරිමෙන් සලාගම කුලයේ එවැනි විරෝධතාවන් මර්ධනය කිරිමට පෘතුගීසින් කටයුතු කළහ.එහෙත්
එම කාලයේදි කුරුඳු අතිශය වැදගත් හා වටිනා වෙළඳ භාණ්ඩයක් වු නිසා කුරුඳු නිෂ්පාදන
කණ්ඩායම් වලට විශේෂ වරප්‍රසාද පිරිනැමීමෙන් හෝ සලාගම කුලය දිනා ගැනීමට
පෘතුගීසින්හු කටයුතු කළහ.”(සිල්වා,1998: 37) යටත් විජිත යුගය තුළදී සලාගම කුලය
සුවිශේෂි වරප්‍රසාද ලත් කුලයක් බවට පත් වන්නේ මේ නිසාය.
පෘතුගීසි
යුගයේ අවසානය වන විට සලාගම කුලය උප කොටස් 4කට බෙදි ගොස් තිබිණි.මේ බෙදිම
පෘතුගීසින් ලංකාව තුළ සිය කාර්යය කටයුතු සංවිධානය කර ගැනීම සඳහා ජනතාව යොදා ගත්
අකාරය සනිටුහන් කරයි.මයිකල් රොබට්ට අනුව මෙම කුලයේ උප කොටස් 4 වන්නේ, පණිවුඩකාර
හලාගම හෙවත් පණිවිඩකරුවන්,හේවාපන්න හලාගම හෙවත් දේශිය සොල්දාදුවන්,කුරුඳුකාර හලාගම
හෙවත් කුරුඳු තලන්නන් සහ ඌලියක්කාර හලාගම හෙවත් කුලී කරුවන් වශයෙනි.කෙසේ වෙතත්
බ්‍රතාන්‍ය යුගයේ පණිවුඩකාර හලාගම සහ ඌලියක්කාර හලාගම යන සලාගම කුලය
උප කොටස් 2 හේවාපන්න හලාගම, කුරුඳුකාර හලාගම යන උප කොටස් 2 මිශ්‍ර වී ගොස්
තිබු අතර ඒ අනුව 20 වන සියවසේ මැදභාගය වන විට සලාගම කුලයේ පසුව කී උප කොටස් 2
පමණක් දක්නට ලැබුණු බව මයිකල් රොබට් පවසයි.
යටත් විජිත යුගය තුළ මෙරට
සිදු වු සමාජ-ආර්ථික නවීකරණයට භාජනය වු වෙරළබඩ කුල අතුරින් ප්‍රමුඛ වතු
වගාකරුවන්,ව්‍යාපාරිකයන්,වෘත්තිකයන් වශයෙන් ධනේශ්වර සමාජ ධුරාවලියේ ඉහළ මට්ටමක්
අත්පත් කරගත් සැහෙන පිරිසක් බිහි විය.මෙම අවධිය තුළ කරාව කුලය මෙන් තම කුලයේ තත්වය
ඉහළ නංවා ගැනීමට සලාගම කුලය ද සමත් විය.
iv දුරාව කුලය
ජෝන්
ඩේව් වැනි යටත් විජිත යුගයේ ලේඛකයින් විසින් “චන්දෝස්” යනුවෙන් හඳුන්වා ඇති දුරාව කුලය ද පහතරට
මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව විසිරි සිටින කුඩා ප්‍රමාණයේ කුලයකි.රා මැදීම සාම්ප්‍රදායික
වෘත්තිය වු මෙම කුලයේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ
වල විසිරි සිටිති.කොළඹින් උතුරට වු ප්‍රදේශයේ සහ රට අභ්‍යන්තරයේ දී කුලය පිළිබඳ
නොදන්නා තරම් යැයි බ්‍රයිස් රායන් ප්‍රකාශ කර ඇත.
දුරාව කුලයේ ආරම්භය සම්බන්ධයෙන් ජනවංශය තබන
සටහනට අනුව මේ කුලයේ ආරම්භය සුරා තැනීම උගත් දඹදිව බරණැස් නුවර සොණ්ඩමානවක නම් බ්‍රහ්මණයෙකු
හා සම්බන්ධය.කෙසේවෙතත් සලාගම කුලය තම මුලාරම්භය සම්බන්ධයෙන් දරණ අදහසට අනුව ඔවුන්
දකුණු ඉන්දියාවේ “මදුරෙයි” රාජධානියේ
පාණ්ඩ්‍ය රජවරුන්ගේ පරිවාර ජනතාවගෙන් පැවත එන්නේය.මේ අනුව ඔවුන් එම රාජ්‍යයේ යුද
හමුදාව හා සම්බන්ධ වුවන්ය.19 වන සියවසේ දී මෙරට සිදු වු ප්‍රබල සමාජ-ආර්ථික
නවීකරණයට හසුවීමෙන් සමෘද්ධියට පත් වු දුරාව කුලය තම ප්‍රභවය උසස් ජන්මයකට සම්බන්ධ
කිරිමට නගන මේ හඩ කරාව කුලය ඒ සම්බන්ධයෙන් නගන හඩ තරම් බලවත් හඩක් නොවන බව බ්‍රයිස්
රායන් ප්‍රකාශ කර ඇත.ඔහුට අනුව දුරාව කුලය ද සලාගම කුලය මෙන් පසුකාලීනව මෙරටට සංක්‍රමණය
වූ ද්‍රවීඪියානු පසුබිමක් සහිත කුලයකි.කරාව කුලය සහ සලාගම කුලය මෙන් දුරාව කුලය ද
සාම්ප්‍රදායික සිංහල කුල සම්ප්‍රදායට චාරිත්‍ර වැනි සේවාවන් සහ උත්සවීය ගෙවීම්
සඳහා සම්බන්ධ නොවීම එම කුලයේ මෑතකාලීන සම්භවය තහවුරු කරන වැදගත් සාක්ෂියකි.රා
මැදිම සාම්ප්‍රදායික වෘත්තිය වුවත් දුරාව කුලයේ සෑහෙන පිරිසක් කෘෂිකාර්මික
කම්කරුවන් වශයෙන් ද කුලයේ සමහර කොටස් අලි-ඇතුන් හා සම්බන්ධ කාර්යය කටයුතුවල ද,
ඇතැම් අවස්ථා වල ධීවර කටයුතු වලද නිරතව සිටි බව මයිකල් රොබට් සඳහන් කර ඇත.
වර්තමානය
වන විට දුරාව කුලය තුළ උප කුල වශයෙන් වු බෙදීමක් හඳුනා ගත නොහැකිය.එහෙත් ප්‍රැන්කොයිස්
වැලන්ටයින් 1726 ලියු ලේඛනයක දුරාව කුලයේ උප කුල බෙදීම් 10ක් පමණ දක්වා ඇතත් එම
කාලයේදි ද එකී උප කුල සමහරක් හඳුනා ගැනීමට නොතිබුනේ යැයි එම ලේඛන සඳහන් කරන බව බ්‍රයිස්
රායන් සඳහන් කරයි.
v. හුනු කුලය
නිවාස තැනීම සඳහා
උපයෝගි කරගන්නා අලු හුනු නිෂ්පානදනය මෙන්ම සිංහල සංස්කෘතියේ ප්‍රධානතම අංගයක් වන
බුලත් විට සැපීම සඳහාද අවශ්‍ය වන හුණු නිෂ්පාදනයේ යෙදුණු හුනු කුලය සිංහල කුල
ධුරාවලිය තුළ ප්‍රමාණාත්මකව ඉතා කුඩා කුලයක් බව ඉහත සටහනට අනුව පැහැදිලි වේ.බටහිර
හා දකුණු වෙරළ තීරයේ මේ කුලයෙන් බහුතරයක් ස්ථාපිත වී ඇති අතර රටේ අභ්‍යන්තරයේ ද
විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ වල ද හුනු කුලයට අයත් ප්‍රජාව ස්වල්ප වශයෙන් ජීවත් වු බව
බ්‍රයිස් රායන් සඳහන් කරයි.කෙසේවෙතත් පසුකාලීනව මේ කුලයේ අයගෙන් බොහෝ දෙනෙක් වෙනත්
වෘත්තින් වලට යොමුව ඇති බව සඳහන් කරන රායන් හුණු පිළිස්සීම ඇතැම් විටකදී සලාගම
කුලය වැනි වෙනත් කුල වලට අයත් අය විසින් කරන බව සඳහන් කර ඇත.
vi නවන්දන කුලය
අචාරි යනුවෙන්ද
හැඳින්වෙන මේ කුලය රට පුරා විසිරි ඇති කුලයකි.වර්තමානය වන විට ප්‍රමාණයෙන් කුඩා කුලයක්
වුව ද අටලොස් වැනි සියවසේදි සමස්ථ ජනගහනයෙන් 10% ක් මෙම කුලයට අයත් වු බව ආනන්ද
කුමාරස්වාමි සඳහන් කරයි.එසේම වර්තමානයේ දී කුල ධුරාවලියේ තරමක් පහළින් සිටියත්
රොබට් නොක්ස් වාර්ථා කර ඇති අකාරයට මොවුන් අතීතයේදි සිංහල කුල ධුරාවලියේ දෙවැනි
තැන හිමි කරගත් කුලයකි.නොක්ස් සඳහන් කර ඇති අකාරයට උසස්ම කුලය වු හාන්දුරුවන්ගේ
පහළ මට්ටම් වල නවන්දන කුලයේ නිවාස වලින් අහාර පවා අනුභව කළහ.එහෙත් මේ කුලයට අයත්
ලෝකුරුවන්ගෙන් සිදු වු නිග්‍රහයක් නිසා හාන්දුරුවන් කතිකා කොට නවන්දන කුලය පහතට
හෙලු බව නොක්ස් සඳහන් කරයි.
සිය
තත්වයෙන් පහළට වැටුනත් ශිල්පීය ශ්‍රේණියක් ලෙස තම ශිල්පයේ ආධිපත්‍ය තමන්ගෙන් සේවය
ලබා ගැනීමට පැමිණෙන අය කෙරෙහි පැතිර වු කුලයක් ලෙස ද මේ කුලය ප්‍රකටය.
වර්තමානය
වන විට මේ කුලයේ සැලකිය යුතු අකාරයට උප බෙදීම් හඳුනා ගැනීම අපහසුය.එහෙත් රැල්ෆ්
පිරිස් සඳහන් කරන අකාරයට මහනුවර රාජධානි සමය තුළ මේ කුලය:
·
අචාරි හෙවත් ගුරුන්නැහෙලා - කම්මල් කරුවෝ
·
බඩහැල්ලු - රන් රිදි වැඩකරුවෝ
·
ගල්ගාන්නෝ - ගල් ඔප මට්ටම් කරන්නෝ
·
ගල් වඩුවෝ
·
සිත්තරු - සිතුවම්කරු
·
ඊ වඩුවෝ - ඊ තල,හෙලි,අඩයටි ,අවාන් මිටි ආදියෙහි රන් පොවන්නෝ
·
රන් පොවන්නෝ
·
ලියනවඩුවෝ - ඇත් දත් හා මී හරක් අං ලියවන්නෝ
·
ලෝකුරුවෝ - පිත්තල බඩු සාදන්නෝ
·
වඩුවෝ
යනුවෙන් උප
කොටස් කීපයකට බෙදා තිබිණි.මෙයින් රන් රිදි වැඩකරුවන්(බඩහැලුන්),සිත්තරුන් සහ ඇත්
දත් හා පිත්තල බඩු ලියවන්නන්(එහෙත් ලෝකුරුවන් හැර) යන මොවුහු මේ කුලයේ ඉහළම
පැලැන්තියට අයත් වුවා හු “ගම්ලද්දෝ” යනුවෙන් හඳුන්වා තිබිණි.කෙසේවෙතත් බ්‍රයිස්
රායන් සඳහන් කරන්නේ උප කොටස් ලෙස බෙදී තිබුණත් ඒ කණ්ඩායම් අතර අන්තර්විවාහ ආදිය
සිදු වු නිසා එම බෙදිම මේ කුලයේ උප කොටස් ලෙස සලකනවාට වඩා එකම වෘත්තියේ කොටස් ලෙස
සැලකිය හැකි බවයි.මේ සාම්ප්‍රදායික වෘත්තිමය කාර්යයන්ට අමතරව මේ කුලය
කෘෂිකාර්මිකයන් ලෙස ද කටයුතු කර ඇත.
මීට ඉහතින්
සඳහන් කළ ඇතැම් කුල පරිද්දෙන් නවන්දනා කුලය ද තමන් බ්‍රහ්මණයන් ගෙන් පැවත එන්නන්
යැයි තර්ක කරති.කෙසේ වුවත් ආනන්ද කුමාරස්වාමි පෙන්වා දෙන අකාරයට මේ කුලය දකුණු
ඉන්දියානු ද්‍රවිඩ මුලයන් සහිත යැයි කීමට අපමණ සාක්ෂි ඇති බව පෙන්වා දිය හැකිය.
vii. හේන
හෙවත් රජක කුලය
රජක කුලය හෙවහ් හේන
කුලය රට පුරාම විසිරි ඇති කුලයකි.සාම්ප්‍රදායික වෘත්තිය රෙදි සේදිමයි.කෙසේ වෙතත්
වර්තමානය වන විට එම කුලයට අයත් ප්‍රජාව සැලකිය යුතු ලෙස සාම්ප්‍රදායික වෘත්තියෙන්
ඇත්වීමක් හඳුනාගත හැකි අතර සුළු කොටසක් නාගරික ප්‍රදේශ වල ව්‍යාපාරික මට්ටමින් සිය
වෘත්තිය කටයුතු පවත්වා ගෙන යන බව දක්නට ලැබේ.
රජක කුලය සිංහල ගැමි සමාජය තුළ සුවිශේෂි කුලයක්
ලෙස වැදගත් වන්නකි.විශේෂයෙන්ම සිංහල සමාජ ජිවිතයේ සුවිශේෂි අවස්ථා වල දී(ගැහැණු
දරුවන් වැඩි විය පැමිණිම,විවාහ අවස්ථා,අවමංගල්‍ය අවස්ථා) ඉටු කරන වැදගත් කාර්යය
භාරය නිසා සාමන්‍ය ජනතාව මේ කුලයට අයත් අය ව්‍යාජ ඥාති පද (හේනේ මාමා,හේනේ
නැන්දා) වලින් ආමන්ත්‍රණය කිරිමට තරම් සමීප විය.ඔවුන්ගේ මේ සුවිශේෂිත්වය නිසාම
ඇතැම් අවස්ථා වලදි ඉහළ කුල සමග කේවල් කිරිමට පවා ඔවුන් යොමු වීමක් හඳුනා ගත හැකිය.
viii. වහුම්පුර හෙවත් හකුරු කුලය
“කන්දයෝ” යනුවෙන් ද හඳුන්වන මේ කුලය සැලකිය යුතු මට්ටමින් විශාල කුලයක් බව ඉහත
වගුවෙන් පැහැදිලි වේ.උඩරට ප්‍රදේශ වල විශාල වශයෙනුත් රටේ අනෙක් ප්‍රදේශ වල සාමාන්‍ය
වශයෙනුත් විසිරි ඇති කුලයකි.සාම්ප්‍රදායික වෘත්තිය වුයේ පැණි හකුරු නිෂ්පාදනයයි.මේ
හැර රදළයන්ගේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වීම මොවුන්ගේ රාජකාරි සේවාවක් ලෙස සලකන
ලදී.දළදා මාලිගාවේ මුලුතැන්ගේ සේවකයින් ද මේ කුලයෙන් පැවත එන්නේය.කෙසේ වෙතත් මේ
කුලය විශාල වශයෙන් කෘෂිකාර්මික කටයුතු වල ද නිරත වු කුලයකි.
මේ
කුලයේ මූලය සම්බන්ධයෙන් විවිධ මත තිබේ.වහුම්පුර කුලයේ ප්‍රකාශකයන් ඔවුන්ට ක්ෂත්‍රිය
සම්භවයක් ඇතැයි සඳහන් කරතැයි රායන් සඳහන් කරයි.ශ්‍රි මහා බෝධිය මෙරටට ගෙන්වු
අවස්ථාවේ දී පැමිණි කුල 18 න් එකක් වු බෝධ්‍යාධාර කුලයෙන් මොවුන් පැවත එන්නේ යැයි
ද කියන අතර විජය මෙරටට පැමිණිමට පෙර මෙරට සිටි ලංකාවේ පැරණිතම ගෝත්‍රයක් යැයි කියන
“දේව” නම් ගෝත්‍රයෙන්
මොවුන් පැවත එන බව ද කියති.මේ කුලය උප කොටස් 07 කට බෙදි ගොස් තිබු බව සඳහන් වේ.ඒ
සකුරු,ශක අරන්‍යය,වංශ පුර්ණ,වහුම්පුර,සුදුකරා,සගරම්මු සහ කන්දේ ඇත්තෝ යනුවෙනි.
ix කුඹල් කුලය
සංඛ්‍යාවෙන්
ඉතා විශාල නොවන සහ රට පුරාම විසිරි ඇති මේ කුලය “බඩහැලයන්”
නමින් ද ඇතැම් ලේඛකයන් විසින් හඳුන්වති.මොවුන්ගේ පදිංචිය සහ වෘත්තිය සම්බන්ධයෙන්
ආනන්ද කුමාරස්වාමි මෙසේ සඳහන් කරයි. “සුදුසු මැටි ලැබෙන
හැම ගමකම සිංහල මැටි කාර්මිකයෝ(බඩහැලයන්) දක්නට ලැබෙති, එහෙත් විශේෂයෙන් සුදුසු
මැටි ඇති තැන් වල ඔවුහු සමුහ වශයෙන් රොක් වී සිටිති. කුඹලා එතන්හි සිට තම මැටි
බඳුන් විකිණිම පිණිස කත් වලින් ඈත පෙදෙස් වලට ගෙන යති.මෙකල කරත්ත පාරවල් දිගේ
කරත්ත වලින් මැටි බඳුන් සැහෙන තරමක් ගෙන යනු ලැබේ.”මහනුවර
රාජධානි සමයේ දී කුඹල් කුලිකයන් “බඩහැල බද්ද”යනුවෙන් වෙනමම කාර්යංශයක් ලෙස සංවිධානය වී තිබු බව රැල්ෆ් පිරිස්
කියයි.මේ අනුව ඒ ඒ පළාතේ දිසාව විසින් පත් කරන ලද ඒ කුලයට ම අයත් විදානේ කෙනෙකු
යටතේ කුඹල් කාර්මිකයෝ සංවිධානය වී සිටියහ.
x. පන්න හෙවත් දුර කුලය
ඉහතින් සඳහන් වගුවට අනුව නම් පන්න කුලය ඉතා කුඩා කුලයකි.එහෙත් ජෝන් ඩේව් එය තරමක් විශාල කුලයක් ලෙස සඳහන් කරයි.පන් කැපීම නිසා ඔවුන්ට මේ නාමය ලැබුනේ යැයි කියයි.රජුට අයත් ඉඩම් වල සිටිම නිසා රාජකාරි සේවාවන් වශයෙන් රජුගේ ගව,ඇත්,අස් හා වෙනත් සතුන් බලා ගැනිම හා දෙසතියකට වරක් මහ ගබඩාවට අවශඨ එළවළු ද අවශඨ වු විට පැදුරු ද සැපයීමට ඔවුන් ට සිදු විය.වහුම්පුර කුලය ව්යාප්ත නොවු ප්රදේශ වල දී උසස් කුල -
රදළ නිවෙස් වල ගෘහ සේවයින් ලෙස ද මොවුන් කටයුතු කර ඇත.
සිංහල කුල ධුරාවලිය තුළ සිටින සැලකිය යුතු කුල සංඛ්‍යාවක් තමන්ගේ මුල්
ඡන්මය ඉන්දියානු උසස් කුලයකට සම්බන්ධ කිරිමට උත්සහ කරන බව ඉනත විස්තර වලින් පෙනී
යන්නට ඇත.මේ අකාරයට පන්න හෙවත් දුර කුලය ද තමන් ශ්‍රි මහා බෝධිය මෙරටට ගෙන ඒමේදි
එහි ආරක්ෂාවට පැමිණි කුලයක් බව සඳහන් කරති.එසේම පැරණි රජවරුන් යටතේ ඔවුන් රණකාමින්
ලෙස ද සිට ඇතැයි කියැවේ.මේ කුලය බහුල වශයෙන් හඳුනා ගත හැකි වුයේ සබරගමුව සහ මධ්‍යම
පළාත් ආශ්‍රිරිතවය.
x බෙරව
කුලය
බොහෝ දෙනෙක්
දන්නා අකාරයට මේ කුලයේ සාම්ප්‍රදායික වෘත්තිය බෙර වාදනයයි.මේ අනුව විහාර දේවාල වල
බෙර වාදනය,හොරණැ පිඹීම සහ නැටීම යන කාර්යයන් කළ නිසා එම දේවාල වලට හෝ විහාර වලට
අයත් ඉඩම් වල පදිංචි ව සිට ඔවුන් රජකාරි කළහ.එහෙත් ඇත්ත වශයෙන්ම නියම දේශිය පේෂ
කාර්මිකයන් මොවුන් බව ආනන්ද කුමාරස්වාමි,ජෝන් ඩේව් ඇතුළු ලේඛකයෝ සඳහන් කරති.මේ
අනුව තමන් වියන රෙදි වලින් එක්තරා ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ඔප්පු කිරිමට ද
රජකීය ගබඩාවට එළවළු සහ කිතුල් පිටි මාසිකව යම් ප්‍රමාණයකින් සැපයිම ද මොවුන්
විසින් කරනු ලැබ තිබේ.
කෙසේ
වෙතත් මොවුන් පේෂකාර්මිකයන්ය යන්න මෑත කාලයේ බොහෝ දෙනා නොදන්නා අතර බ්‍රයිස් රායන්
සඳහන් කරන අකාරයට මොවුන් පේෂ කාර්මික කටයුතු හෙවත් රෙදි වීවිමෙන් ඈත් වන්නට ඇත්තේ
යටත් විජිත යුගයේදී ය.
xi බත්ගම
හෙවත් පදු කුලය
ඉහත වගුවෙන්
පෙනෙන අකාරයට සිංහල කුල ධුරාවලිය තුළ ගොවි කුලය හැරුණු විට ප්‍රමාණාත්මකව විශාලම
කුලය මේ කුලය බව පැහැදිලි වේ.රොබට් නොක්ස් විසින් “පේඩියා” යනුවෙන් හඳුන්වා
ඇති මේ කුලය උතුරු මැද පළාත ද ඇතුළත්ව උඩරට රාජධානියට අයත්ව තිබු ප්‍රදේශ
වල විශේෂයෙන්ම මධ්‍යම පළාත හා සබරගමු පළාත තුළ, බහුල වශයෙන් විසිරි සිටි කුලයකි.උසස්
කුල වල මෙහෙකාර සේවාවන්,දෝලා සහ පැලැක්කි ඔසවා ගෙන යෑම,පෙරහැර වල කොඩි ගෙන යාම
වැනි පහත් යැයි සම්මත කාර්යයන් කළ මෙම කුලයේ සමාජිකයන් කාල තුවක්කු හමුදාවේ
හේවායන්ගෙන් ද බහුතරය (කාල තුවක්කු ඔසවා ගෙන යාම) විය.මේ කුලයේ ප්‍රභේද 3ක් පිළිබඳව
සඳහන් වී ඇතත් වර්තමානය වන විට එම ප්‍රභේදකරණය එතරම් විද්‍යාමාන නොවේ.
සිංහල
කුල ධුරාවලියේ පහළම කුල අතරින් එකක් වු මේ කුලයේ ප්‍රභවය සම්බන්ධයෙන් විවිධ මත
ඇත.බත්ගම කුලයේ ආදිතමයන් දිවයිනේ පැරණිතම ගෝත්‍රයක් වු යක්ෂ ගෝත්‍රයෙන් පැවත එන
බවත් ආර්යයන් පැමිණි පසු ආර්යයන්ට යටත් වීමට නොකැමති වු පිරිස් කැළැ වැදි වැද්දන්
බවට පත් වු බවත් ආර්ය පාලනය පිළිගත්තා වු එම ගෝත්‍රයේ කඳුකර වැසියන් ගෙන් බත්ගම
කුලය පැවත එන බවත් ඇතැම් විචාරකයින්ගේ මතය වේ.මේ ජනයා ගජබා යුගයේ දී සොලී රටෙන්
ගෙන ආ සිරකරුවන් ගෙන් පැවත එන බව ද කියවේ.ප්‍රමාණත්මකව විශාල කුලයක් වුවත් 20 වන
සියවසේ දී පවා ඉඩම් අහිමි කුලී ශ්‍රමිකයන් වූ මොවුන් ආර්ථික වශයෙන් ඉතාම පහළ
මට්ටමක සිටි කුලයක් විය.
කින්නර කුලය
ප්‍රමාණාත්මකව
ඉතා කුඩා කුලයක් වන මෙම කුලය ද සමාජ ධුරාවලියේ පහළම මට්ටමක් හිමි වු කුලයකි.මහනුවර
සහ කුරුණැගල දිස්ත්‍රික්කයන් ප්‍රධාන කොට ගෙන සාම්ප්‍රදායික උඩරට ප්‍රදේශ වලත්
දකුණු පළාතේ සුළු වශයෙන් ද මේ කුලයේ විසිරි ඇති බව බ්‍රයිස් රායන් සඳහන්
කරයි.රාජකාරි හේවායන්ට කඹ හා පැදුරු සැපයු
මේ කුලය උඩරට රාජ්‍යයේ එක් කාර්යංශයක් ලෙස සංවිධානය වී තිබුණි.කුල ධුරාවලියේ පහළම
කුලයක් වීම නිසා ඉහළම කුල වල අය මේ කුලය සමග පවත්වන සම්බන්ධතාවන් ද සීමා සහිත වු
අතර ඉහළ කුල විසින් මේ කුලය ඉතා දැඩි සේ පසෙකට කොට තිබිණි.පහළව කුලයක් වීම නිසා මේ
කුලයේ ඉඩම් හිමිකාරීත්වය ද ඉතාම සීමාසහිත වු අතර මේ නිසා මේ අයගේ ආර්ථීක තත්වය
ඉතාම පහළ මට්ටමක විය.
x රොඩී කුලය
සාම්ප්‍රදායික
සිංහල කුල ධුරාවලියේ ඉතාම පහළ කුලය වන රොඩියන් පිළිබඳව බෝහෝ දෙනෙකු දැන සිටියේ මේ
ප්‍රජාවගේ සුවිශේෂි චර්යාවන් සහ ඔවුන්ගේ මූලාරම්භය පිළිබඳව වු කුතුහලය දනවන
ඓතිහාසික කතා පුවත් ද නිසාය.සාම්ප්‍රදායික කුල ධුරාවලිය තුළ යාචකයින් වු මොවුන්
එවැනි තත්වයකට පත් වීම රොබට් නොක්ස් වාර්ථා කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.
“මේ යාචක
ජනතාවගේ මුතුන් මිත්තෝ දඩවැද්දෝ හෙවත් දඩයක්කාරයෝ වුහ.රජුගේ භෝජනය සඳහා මුව
මස් සැපයීමේ රාජකාරිය ඔවුනට පැවරි තිබිණි.එහෙත් මුව මස් සපයා ගන්නට නුපුළුවන් වු
එක් දිනක ඔවුහු මිනිසකු මරා ඔහුගේ මස් රාජ භෝජනයට ගෙන ගොස් දුන්හ.මීනි මස් බව
නොදැන එය අනුභව කළ රජ තෙමේ, එහි අමුතු රසයට ලොල් වුයේ ඒ වර්ගයේ මුව මස් දිනපතාම රජ
වාසලට එවන මෙන් දඩ වැද්දන්ට නියෝග කළේය.එහෙත්,ඔවුන් ගෙන එන්නේ මුව මස් නොව මිනි
මස් බව රජුගේ කරණවැමියාට දැන ගන්නට ලැබිණි.හෙතෙම රජුට ඒ බව සැල කළේය.එහය අසා දැඩි
කෝපයට පත් රජ තෙමේ,මරණීය දණ්ඩනය එය ලැබීමට සුදුසු වරද කළ වුවන්ට පමණක්
පැනැවෙන්නකැයි ද දඩ වැද්දන් තමනට කළ නින්දාවේ හැටියට මරණීය දණ්ඩනය ඔවුන්ට හොඳ වැඩී
යැයි ද නිගමනය කොට වහා මෙබඳු නියෝගයක් පැන වුයේ ය.දඩ වැදි ගෝත්‍රයට අයත් ලොකු කුඩා
සියළු දෙනා ම ඔවුන් වාසය කරන ප්‍රදේශයෙන් පිටමං වී යා යුතු ය.රටේ අනෙක් වැසියනට
හිමි කිසිදු වරප්‍රසාදයක් ප්‍රතිලාභයක් අයිතිවාසිකමක් දඩ වැද්දන්ට හිමි නොවිය
යුතුය.යැපීම් සඳහා ඔවුන් කිසිඳු රැකියාවක් නොකළ යුත්තෝ ය.ජීවත් වීම සඳහා ඔවුහු
රාජධානිය තුළ ගෙයින් ගෙට හිගමනේ යා යැපිය යුත්තෝය.පරම්පරාවෙන් පරම්පරාවට ඔවුහු
හිගමනේන් යැපිය යුත්තෝය.රටේ අන් සියළු ජනතාව මේ දඩ වැද්දන් සමාජයේ පහත්ම කුලයට
අයත් සේ සැලකිය යුත්තෝය.”
මේ
කතා පුවතේ සතත්‍ය අසතත්‍ය කෙසේ වුවත් රොඩී ජනතාව ඉතා මෑතක් වන තුරුම සෙසු ජනතාවගේ
ඇසුරින් ඈත් කර සිංහල ජන සමාජයේ ඉතාම පහළ ස්ථානයක තබනු ලැබ තිබුනේය.
ඉහතින් විස්තර කළ කුල වලට අමතරව කුල
රාශියක් සිංහල සමාජය තුළ අතීතයේ දී පැවති බව පැරණි ලේඛකයන්ගේ ලිපි ලේඛන වලින් සනාථ
වේ.එවැනි සමහර කුල කිසියම් විශේෂිත ප්‍රදේශයකට පමණක් සීමා වුවා විය හැකිය. “හැඳයන්” (රාජකීය ගබඩාවට කුඩ සැපයීම), “ඔලී” (පෙරහැර වල
පඔයන් උසුලාගෙන යාම සහ නැටීම), “රාදයෝ” (විශේෂිත කටයුත්තක් ගැන සඳහන් වී ඇතැයි
නොකිය වේ), “පල්ලරු” (විස්තර සපයා
ගත නොහැකි යැයි ජෝන් ඩේව් දක්වයි.), “සන්නාලි” (ඇඳුම් මසන්නන්), “ඇම්බැට්ටයන්” (කරණවැමියන්), “පලි” (පහළ කුල වල ඇඳුම් සෝදන්නෝ) එසේ
සිටියා යැයි කියන කුල වලට උදාහරණ කීපයකී.19 වන සියවසේ අග භාගය වන විට සහ 20 වන
සියවසේ මුල් භාගය වන විට තිබුණේ ඔවුන් තම සාම්ප්‍රදායික රාජකාරි අතහැර වෙනත් කුල
ප්‍රජාවන්ට අන්තරගත වීම නිසාය.
සිංහල කුල ක්‍රමය වු ඒ ඒ කුල
පිළිබඳව ඉහතින් දක්වා ඇති විස්තරයෙන් ඒ ඒ කුල වල ප්‍රභවය පිළිබඳවත්, සමාජ - ආර්ථික
ප්‍රගමනයක් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඒ ඒ කුලය සිය තත්වයන් උසස් කර ගැනීමට ක්‍රියා
කළ අකාරය පිළිබඳවත්, කාලයෙන් කාලයට ඒ ඒ කුල වල සමාජ තත්වයන් වෙනස්ව ගිය අකාරය
පිළිබඳවත්,සිංහල කුල ක්‍රමයේ පදනම කුමක් ද යන්න සම්බන්ධයෙනුත් සංක්ෂිප්ත අදහසක්
ලබා දෙයි.මෙලෙසින් සිංහල කුල ධුරාවලිය සම්බන්ධයෙන් දැක්විය හැකිය.
Comments
Post a Comment